Tuesday, April 16, 2013

ඔයත් Google එකේ SEX search කලාද...

               ලංකාව සෙක්ස් කියන වචනෙ සර්ච් කල වැඩිම රට බවට පත්වෙල කියල ගූගල් සමාගම කල සමීක්ෂණයකින් වාර්ථා වුණා කියල පහුගිය කාලෙ කියවුණා.ඕක අහපු අපේ රටේ බහුතරයක් නොයෙකුත් කතා මේ වෙනුවෙන් කීව.විචාරකයො විවිධ මත ඉදිරිපත් කලා.ඒ කෝම වුණත් ඒම දෙයක් සිද්ධ වුණේ ඇයි.ඒම දෙයක් සිද්ධ වෙන්න බලපෑව බලපාන කාරණා මොනවද කියන එක ගැන කවුරුවත් කතා කලාද කියන එක, ඒ ගැන කවුරුවත් අඩුම ගානෙ හිතල බැලුවද කියන එක ප්‍රශ්නයක්.

               ඇත්තටම මේ ප්‍රශ්නෙ ඇතිවුණේ මොන හේතුවක් නිසාද.ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසික මට්ටමද,නිසි ලිංගික අධ්‍යාපනයක් නැති කමද,සංස්කෘතික දේශපාලන ඒමත් නැතිනම් ආර්ථික බලපෑමක්ද.අපි අනෙක් රටවල් එක්ක අපිවම සංසන්දනය කරන්න පුරුදු වෙල ඉන්නව.ඒම සංසන්දනය කරල අපි අපිටම කියාගන්නව අපි මහා සංස්කෘතියකට හිමිකම් කියන රටක්ය කියල.ඊට ඉස්සරහින් බොහෝ දෙනෙක් සිංහල බෞද්ද කියන කොටසත් එකතු කරගන්නව.ඉතින් එහෙවු මහා සිංහල බෞද්ද සංස්කෘතියක් තියන  රටේ මෙවැනි තත්වයක් උද්ගත වීම විහිළුවට කාරණාවක්.

                ඉපදිච්ච දවසෙ ඉදන් ලංකාවෙ ළදරුව හැදී වැඩෙන්නෙ රාමු වුණ පරිසරේක.පන්තිභේද ආගම්භේද අනුව ඒ තත්වෙ පොඩි පොඩි වෙනස්කම් වුණත් ඒ වෙනස ඇතුලෙත් තියෙන්නෙ රාමුවක්.ළමයින්ගෙ සෞඛ්‍ය අධ්‍යාපනයෙ  පළමු ගුරුවරු වෙන්න ඕන දෙමාපියන්.නමුත් ඒ දෙමාපියන්ගෙ ළදරු කාලයේදීත් ඔවුන්ට අවශ්‍ය වුණ සෞඛ්‍ය අධ්‍යාපනය ඔවුන්ගේ දෙමාපියන්ගෙන් නොලැබීයාමෙන් ඒ පිළිබදව නිසි අද්දැකීමක් ඔවුනට නෑ.මේ නිසාම තමන්ගෙ දරුවන් එක්ක ඒ දේවල් බෙදාගැනීමේ හැකියාවක් දෙමාපියන්ට නෑ.ඔවුන් හිතන්න පෙළබෙනව තමන් මේ පිළිබදව දැනුවත් වූ ආකරයෙන්ම කාල‍යත් එක්ක දරුවන් මේ පිළිබදව දැනුවත් වෙයි කියල.ඉතින් ළමුන් හා දෙමාපියන් අතර විවෘත අදහස් ඇතිවීම සීමාසහිතයි.තමුන්ගෙ දුව වැඩිවි‍යට පත්වීම මහ ඉහලින් අපේ බොහෝ දෙනා සමරනව.නමුත් ගෙදර ඉන්න බාල පිරිමි දරුව තමන්ගෙ අක්කට මොකක්ද වුණේ කියන්න දන්නෙ නෑ.අපි දන්න ඇත්ත තත්වෙ මේක.බොහේ වෙලාවල් වලදි අම්ම සහ දුව අතර ලිංගික ගැටලු පිළිබදව සාකඡ්චාවක් ඇති වුණත් පිරිමි දරුවාට ඒ පිළිබදව සාකඡ්චාවක් ඇති කරගැනීමට අවස්ථාව අඩුයි.කාසාදයෙදි තමන්ගෙ පුතා බැදල ඉන්නෙ කන්‍යාවියක්ද නැද්ද කියල බලන්න ඇදට සුදු රෙද්දක් දාන නැන්දම්මල ඉන්න රටක් මේක කියල කවුරු හරි කීවොත්.දැන්නම් මේ තත්වෙ බොහෝ දුරට වෙනස් වෙමින් යනව.නමුත් මේ ක්‍රමය තවදුරටත් රට තුළ වලංගුයි.

               පාසල් අධ්‍යාපනය ගැන සැලකීමේදී සෞඛ්‍ය අධ්‍යාපනය කතා කල යුතුම කාරණාවක්.නිසි සෞඛ්‍ය අධ්‍යාපනයක් පාසල් දරුවාට ලැබෙනවාද.විෂයක් වශයෙන් සෞඛ්‍ය විශය නිර්දේෂයන්ට ඇතුලත්ව තිබුනත් ඒ පිළිබදව නිසි අවබෝධයක් බොහෝ දරුවන්ට නැතිවීම ගැටළුවක්.වසර කීපයක් පමණක් මෙම විෂ‍ය ඇතුළත්ව තිබුණත් උසස් පෙළට පැමිණීමේදී බොහෝ විට මේ කාරණා පිළිබදව අවබෝධ‍යක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව හදාරන සිසුනට පමණයි.ඉතින් ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යම වයසකදී බහුතරයක් සිසුනට ඒ අධ්‍යාපනය නැතිවී යනවා.අපේ පාසල් පද්ධතිය ගත්තම බොහෝ ඒව පිරිමි හෝ ගැහැණු පාසල්.මිශ්‍ර පාසල් අඩුයි.මේ නිසා පාසල් කාලය පුරාවට පිරිමි පාසලකට යන පිරිමි ළමයාට ගැහැණු ළමයින් සමඟ ගැටීමේ අවස්ථා වගේම ගැහැණු පාසලකට යන ගැහැණු ළමයකුට පිරිමි ළමයකු සමඟ ගැටීමේ අවස්ථාත් අඩුයි.මිශ්‍ර පාසල් ආශ්‍රිතව ගැටළුකාරී අවස්ථා බොහෝ ඇති වුවත් පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් සහයෝගයෙන් වැඩ කිරීම නිසා ඔවුන් තුළ ඇතිවන්නා වූ ලිංගික පීඩනය අඩුයි.නමුත් පිරිමි හෝ ගැහැණු පාසලකදී එම ළමුනට මේ තත්වයට මූණදීමට සිදුවන්නේ පාසලෙන් පිටතදී වීම නිසා ඔවුනට ඇතිවන්නා  වූ පීඩනය වගේම එම මූණදීම ආගන්තුක වීම නිසා බොහෝ විට අපහසුතාවයන්ට පත්වන අවස්ථා බහුලයි.මේ තත්වය යටතේ විශ්ව විද්‍යාල වලට ගමන් කරන තරුණ තරුණියන්ට එහිදී ලැබෙන්නා වූ අසීමිත එනම් මෙතෙක් ජීවත් වූ රමුවෙන් පිට ලැබෙන නිදහස දරාගැනීමට නොහැකි පීඩනයක් බවට පත්වනවා.මේ හේතුව නිසාම බොහෝ තරුණ තරුණියන්ට විවිධාකරයේ ගැටළු වලට මූණ දීමට සිදුවනවා.

             ලංකාව තුළ කසාදය බොහෝ විට යෝජනාවකින් හෝ ආදරය මඟින් සිදුවන්නක්.දෙදෙනෙක් එක්වීමේදී ඒ දෙදෙනාගේ ආශාවන් හැගීම් දැනීම් එකිනෙකාගෙන් වෙනස් වන්නක්.එහිදී තමන්ගේ විරුද්ධ ලිංගිකයාගේ ලිංගික ආශාවන් අදුනා ගැනීමක් සිදුවීම අත්‍යාවශ්‍ය කාරණාවක්.නමුත් නිසි අධ්‍යාපනයක් නැතිවීම හෝ වසන් කරන් සිටීම යන කාරණය මත බොහෝ දෙනෙක් මේ පිළිබදව දැනුවත් වන්නේ මධුසමය තුලදීයි.මෙහිදී තමන්ගේ විරුද්ධ ලිංගිකයාගේ ලිංගික ආශාවන් හදුනා ගැනීමට නොහැකිව හෝ ඒ හැගීම් වලට මූණ දීමට නොහැකිව අසරණ වන පිරිස් බහුලයි.ලංකාව තුල මෙසේ වීමෙන් දික්කසාදයෙන් කෙලවර වන්නා වූ විවාහ වල ප්‍රතිශතය සියයට විස්සක් තරම් වනවා.

             සමලිංගිකත්වය කියන මාතෘකාව ලංකාවට ආවේනිකයි කියල බොහෝ දෙනෙක් පැවසුවත් මේ කාරණාව මෙරට තවදුරටත් සඟවා තබා ගත යුතු කාරණාවක්ද යන්න ප්‍රශ්නයක්.මන්ද පිරිමි සහ ගැහැණු සමලිංගිකත්වය අපේ රට තුළ ප්‍රසිද්ද රහසක් බවට මේ වන විට පත්වී හමරයි.මේ වන විට රට තුළ මෙවැනි සමාජ පවා බිහිවී හමරයි.ඉතින් මෙවැනි තත්ව‍යට කාන්තාවක් හෝ පිරිමියෙක් පත්වන්නේ ඇයි.ඇත්තෙන්ම ඔවුනටත් සම අයිතිවාසිකම් පැවතිය යුතුය යන මතය සාධාරණ වුවත් එය කතිකාවතකට බදුන් විය යුතුයි.මන්ද මෙසේ වීමට බලපාන්නවූ සාධක සැලකීමේදී ජානමය වශයෙන් සමලිංගිකත්ව‍යට උරුමකම් කියන්නා වූ පුද්ගලයින් වගේම එසේ නොමැතිව සාමාජීය කාරණා මත එවැන්නන් බවට පත්වීමේ ප්‍රතිශතයක්ද පැවතීම ගැටළුකාරී තත්වයක්.ඉතින් ජානම‍ය වෙනසක් නොමැතිව සමාජ ආශ්‍රයන් සහ සමාජ ක්‍රියාකාරකම් මගින් මෙසේ වන්නන් එවැනි තත්ව‍යකට පත්වීමට  ලංකාව තුළදී ඇත්තටම බලපාන්නාවූ කාරණා මොනවාද.

              සෙක්ස් කියන්නා වූ වචන‍ය ඉතා භයානක තහනම් විය යුතු වචනයක් වශයෙන් සමාජය තුළ පවතිනා මතය නිසාම අපේ සමාජයේ බොහෝ දෙනා මෙයින් පීඩා විදින බව පැවසිය යුතු කාරණයක්.මේ කියන වචන‍ය නිසාම වක්‍රාකාරව අප සියලු දෙනා මේ ලෝක‍යට බිහි වන්නෙනම් මේ වචනය සඟවාගෙන පැවසිය යුක්තක්ද යන්න වග අප සිතිය යුතුයි.ගූගල්හි සෙක්ස් සර්ච් කිරීම යනු අනුන්ගේ සෙක්ස් හොරෙන් බැලීම ලෙසද පැවසිය හැකියි.එසේනම් එයින් අදහස් වන්නෙ අප අනුන්ගේ සෙක්ස් හොරෙන් බැලීමට ලොල් ජාතියක් යන්නද.දෙමාපියන් තමන්ගේ පිරිමි ළමයා ගැහැණු ළමයකු හා කතා කරමින් සිටීම දැකීමද වරදක් සේ සලකන සමාජයක් තවමත් අප රට තුළ තිබේ.එසේනම් ගැහැණු ළමයා පිරිමි ළමයකු හා කතා කරමින් සිටීම සිතන ආකරය සිතීම පවා භයානක වේ.ඉතින් මේ කුතුහලය දරා ගැනීමට නොහැකි වීමෙන් හා ඒ දෙය ලබාගැනීමට බැරි නිසා හොරෙන් ඒ අද්දැකීම් ලබාගැනීමට කටයුතු කිරීම මගින් ඇතිව තිබෙන්නා වූ ගැටළු සමාජය තුළින්ම අපට අද්දැකීමට ලැබේ.දෙමාපියන් තම දරුවන් හා විවෘතව මේ දේ පිළිබදව කතා නොකරන තාක් නිසි අධ්‍යාපනයක් නොලැබෙන තාක් අප සියල්ල අනුන්ගේ සෙක්ස් බැලීමෙන් විනෝදය හොයනා ගූගල්හි නම තව දශක ගනනාවක් යන තුරු රැක ගැනීමට අදහස් කරන්නා වූ කුප්පැහි ජාතියක් වනු නිසැකය.මෙවැනි තත්ව‍යක් යටතේ ආරක්ෂිත කොපු වැනි දේ පිළිබදව විවෘත කතිකාවකට යාම අප සියලු දෙනාට හීනයක් පමණක්ම වනු නියතය.

               මෙතෙක් වේලා මා විසින් කරනු ලැබූයේ මා විසින් මේ කියන්නා වූ කරණය සම්බන්ධයෙන් මා දකින අහන දෙයින් ලද අද්දැකීම් වලින් බිදක් පමණයි.මෙය එකිනෙකා දකින ආකාරය සාපේෂ්‍යයි.මෙහිදී හේතු දැක්ක්වීම හෝ අදහස් දැක්වීමකටත් වඩා කරුණු පෙන්වාදීමකට පමණක් මා යොමු වූයේ පාඨක ඔබට ඔබගේ අද්දැකීම් අණුසාරයෙන් ඒ සදහා අදහස් ගොඩනඟා ගැනීම මාගේ අදහස් දැක්වීමට වඩා පහසුවක් සේ හැගී ගිය බැවිනි.මට හැගෙන ආකාරයට අවසාන වශයෙන් පැවසිය යුත්තේ අප සියලු දෙනා ලිංගිකත්ව‍ය නොදන්නා  ලිංගික රාමුවක කොටුවූ ලිංගික හිරකරුවන් බවයි


පා.ලි- මේ සදහා අදහස් දක්වා අවසානයක් කරා ගෙන ඒමට උදවු වූ යළුවන්ට ස්තූති කරන අතර මේ පිළිබදව විවෘතව ඔබගේ අදහස් දක්වන ලෙස ඉතා සුහදව ඉල්ලා සිටිමි.




ලක්ෂිත ප්‍රසාද් වීරසේන


             

Saturday, April 6, 2013

මතක ක්ෂිතිජය දෙස බලන් මම

















මතක ක්ෂිතිජය දෙස බලන් මම
අනන්තය වෙත ඇස් යොමා
පාළු වී ගිය සිහින ලෝකේ
මගේ සිතුවම් බොදවෙලා


සතුට දනවන ආනාගත නෑ
මගේ ලෝකෙට ආයි එන්නේ
ඔබට මතක නැති
අතීතය මට අනාගතයෙත් හමුවෙලා


රතට දිදුලන බසින හිරු නෑ
අයිමත් ලෝකය දකින්නේ
යළිදු නොයෙනා ඔබේ සුවදට
මගේ හිත යලි රැවටිලා